Friday, August 29, 2014

.......පාළුයි!.....





හදවත ඉරිතළා ඇතිවිට 
තව ඉඩක් කෝ කුඩා  කවියකට 
දැනගෙන වගේ මේ වග 
කවුළුවෙන්වත් නොඑයි මඳනල .

කෙහෙ අගින් බේරී 
බිම වැටෙන වතුර බිඳකට 
මග නතර වෙන්නට 
හුරු පුරුදු කම්මුලක් කෝ අද.

ඉබාගාතේ යන 
සිතිවිළි කදම්බයකට 
ප්‍රදීපාගාරයක් වුව 
මගහැරෙන්නට පුළුවන.

Wednesday, August 27, 2014

දැවෙමි!!!


දැවෙමි 
සතුටින් වෙසෙනයුරු දැක 
මා අතැර .
තැවෙමි 
සුසුමන් හෙලනයුරු දැන
මා සිහිව.

. කවුළුවක් තෙමේ !!





.කවුළුවක් තෙමේ 
වැස්සට 
සිහිනයක් 
තිබේ 
නොතෙමුන .





Saturday, August 23, 2014

එක්කෝ ඇති. නැත්නං නැතුවැති !!



.
අහස උඩ තැනක් ඇති 
නිල්පාට කවුළුවෙන් එබීගෙන 
කවුරු හරි බලන් ඇති.
නැතුවත් ඇති.

එයාටත් මට වගෙම 
ලියාගන්නට නොහැකි 
කවක් ඇති.
නැතුවත් ඇති.

හීන් හඬකින් ගැයෙන 
මං ආස සිංදුවක් 
එයාටත් මතක ඇති.
නැතුවත් ඇති.

අපි ආයෙ හමුවුනොත් 
වෙන්වෙන්න බැරිවෙයිද 
එයත් හිතනවා ඇති.
නැතුවත් ඇති.

Thursday, August 21, 2014

තට්ටු නොකරනු කවුළුවට !!!




.
නැළවෙන්න සුහදයාණෙනි,

අත් අකුරු නොමැතිවද 
පෙම් පත් ලියා එවනු ඇති 
සඳ එළිය .

මියුරුම වෙණ හඬද පරදවයි 
අතු ඉති මත නළියන 
මඳ සුළඟ.

කැළතෙන ගං දිය 
දියමන්ති කැට රැසකි 
දිදුළන .

තට්ටු නොකරනු 
කවුළුවට 
උදෑසන .

Wednesday, August 20, 2014

මම තවම දැල්වෙමි !!!



.
විමසුව හෙයින් ඔබ 
මා තවම දැල්වෙන්නේ කා නිසාදැයි  වග.

සුමිතුර,
මම තවම දැල්වෙමි 
දැල්වුණ අයුරු මෙනෙහිකර. 
මම තවම දැල්වෙමි 
නිවුණු අයුරු මෙනෙහිකර.

සුමිතුර,
මඳක් පැටළිලි සහිත වුව 
දැල්වීමකි නිමීමද .

Saturday, August 16, 2014

බොකුටු කොණ්ඩා කාරයෙකුගේ සිහිනය!!

.
සිහිනවලට ශාප කල නොහැක.
රැන්ග්ලර් කමිසයක් ඇඳි 
බොකුටු කොණ්ඩා කාරයෙකුගේ සිහිනය.
ගිටාරයක් වයන විට 
සිනාසෙමින් හිඳි කෙල්ලකගේ සිහිනය.
නපුරු මායාකාරියක් 
රෝස මල් පොඩිකල සිහිනය 
කොතරම් කුරිරු වුව
සැබෑ ලොව වෙසෙමින් 
සිහිනවලට ශාප කල නොහැක.

දැවෙනු පිණිසම!!


.
ඇවිදිමි අඟුරු මත 
අකල් වැසි වැස නිමී ගිය .
තිබිය හැක 
එකම එක අඟුරක් 
තවම නොනිමී වහන්වුණ .
නවතිමි මම එතැන 
යළි යළිත් දැවෙනු පිණිසම .

Friday, August 15, 2014

"so sad "


.
"so sad " ඔබ කියයි.
ඇත්තෙන්ම 
එතරම්ම දුක්විය යුතු නැත.
දැන් දුක තුනී වී ඇත.
අඳුරු ආකාශයෙහි 
සඳ දියව යන්නාක් මෙන් 
පොකුණ මත මීදුම 
ශේෂවී යන්නාක් මෙන් 
ළයෙහි කැන්වසය මත 
ඔබ බොඳව ගොස් ඇත.


ඉතින් සුහද,
කුඩා කැබලි වලට බිඳුණු 
මේ ඒ සුන්බුන්ය.
මෝසම් වැස්සට 
පාව යනු ඇත.
සිහිල් සුළඟට හසුව 
ඉහළ යනු ඇත.
ඉතිං මින් මතු 
මගේ කවි කියවා 
'so sad 'යැයි 
නොපැවසිය යුතුය.

Thursday, August 14, 2014

කුඩා කැත කෙල්ලකව සිටි එකළ!!!




ඔවුහු මා සොයාගත්හ 
සෙල්ලම් පිටිවල,පොත් මේස ළඟ 
කුඩා වන ලැහැබ්වල 
තාරුකා නරඹමින් සිටිනතර 
ගීතිකා ගයමින් රඟනතර 
කුඩා කැත කෙල්ලකව සිටි එකළ 
ආයාසයෙන් තොරව.

මම මා සොයමි දැන් 
අතහැර දැමූ කන්දක
මගහැර සැඟවුණු සටනක 
අඩක් ලියැවුණු කවියක
මඳක් හිස්වුණු මී විතක 
හුදකළා ඉසව්වල,ප්‍රෙහෙලිකා අතර 
ලයිට් බිල් ගෙවන තැන්වල,තොග බඩු කඩවල. 

අතුරුදන් වී ඇත 
මා වැනි කෙනෙක් 
හමුවෙන්න බියෙන් 
මට!

දුව දැන් ලොකුයිද????






ශෝකී ඇස් සහිතව 
හිඳී ළා පාට බිත්තියක 
කතාවක් බහක් නැතිවම 
මහළු වූ අතීතය.

"ඔයා දැන් සතුටින්ද 
දුව දැන් ලොකුයිද 
දුක හිතෙන වෙලාවට 
මා ගැන මතක් වෙනවද?".

කාත් කවුරුත් නැති විටෙක 
ඇස් වලින් දොඩනු හැරුනම 
දුවිළි පිහින්නත් නොඑමි 
මට පවා බයයි මා ගැන.

Wednesday, August 13, 2014

ඒ කාලෙ තමයි කාලේ !!

 
 

සිප ගැනීම් 
බහුලව තිබිණි 
එකල පෙන්වූ
චිත්‍රපටිවල.

Tuesday, August 12, 2014

දැල්වෙන ගිණිගොඩ!!

.
අප දෙබස් පාඩම් කල හැටි 
උයන්වල,තාර පාරවල,බස්වල 
මුහුණු රතුවූ හැටි 
අහම්බෙන් වැදී අතිනත .
නමත් අමතක චිත්‍රපටිවල 
අවසානයත් එළඹින.

වංගු ගෙන හමායයි සුළඟ 
පපුවට ගසා ගනිමින් අත් දෙක
නොඅසයි ඔබ කොහේදැයි 
රහසකින්වත් ගං තෙර. 

සඳක් වැළපෙයි 
තාරුකා ගිනි ගනියි 
ඈත කන්දක තවම 
ගිනි ගොඩක් දැල්වෙයි.

Monday, August 11, 2014

මගේ ලුමිනස් පියාපත්!!!



.
සොඳුර,
හරිත වර්ණය විසිරි 
මේ නිහඬ මිටියාවත 
එක්ටම් ගෙයකටත් වැඩියෙන් 
සිර ගෙයක් විය හැකිය 
මගේ ලුමිනස් පියාපත් මත 
ප්‍රේමයේ මහා බර තැබූ විට.

සොඳුර,
අත්හල මැනවි 
පියාඹා යන ලෙස .
නොවටී නුඹට 
සිරකාරියකගේ ප්‍රේමය.

Saturday, August 09, 2014

පයින් ඇනලා දැම්ම කානුවකට.!!!



පාර තොටේ දැක්කම 

මූනට මුණගැහුනම 

ගණන් ගත්තෙ නෑ තඹේකට .

පයින් ඇනලා 

දැම්ම කානුවකට.

ඒත් දැන්,

මං ආදරෙයි 

තත්පර වලට.

Friday, August 08, 2014

සමහර දවස් ඇත තහනම්ම තහනම්!!!







දීර්ඝම හවස්වරුවක 
මඳක් ශෝකී අන්ධකාරයෙහි 
පැරණි දිනපොත් කියවනා විට 
හඬ නොනැගෙනා විලස අවුදින් 
පිටව යනු මැන මටද රහසින් 
පෙම්වත ,
සමහර දවස් ඇත 
ඔබට කියවනු තහනම්.

Wednesday, August 06, 2014

ඔයා ඔහොම බොන්නෙ මං හින්දද?




මිහිදන් කරනු රිසි 
හැම විටම 
අලුත් හුස්මක් ගනී 
ඔබේ පෙම.

දමයන්ති:-
සුගත්,
ඔයා ඔහොම බොන්නෙ 
මං හින්දද?

සුගත්:-
නෑ 
දම්මි, 
හඳ පායන හින්දා 
මල් පිපෙන හින්දා 
පෘතුවිය කැරකෙන හින්දා 
හුස්ම වැටෙන හින්දා .

සමනල් පියාපතක සායම.!!!



ඔබේ දරදඬු ප්‍රේමය 
නික්ම ගොස් බෝ කලක් වුව
මගේ අත්ලෙහි තවම මතුවෙයි 
සමනල් පියාපතක සායම.

බැරිවීමකින් ගත් 
සිනාසෙන ඇස් දෙකක රූපය 
ප්‍රියතම කවි පොතක් තුළ 
ඇස් ඇරන් ඇති අදටද .

බිඳෙන බව කල්තියා දැන 
මතක පිරවූ බඳුන් 
සොයාගත හැකි විට 
හිස් කරමි ඔබ යනෙන පාරක.

Saturday, August 02, 2014

ඇස් වටා කළුව වැඩිවෙයි!!!



ප්‍රියය නුඹ 
පහන් නිවා අහසෙහි 
රහසේම ඇවිදින් 
උණුසුම් පොරෝනයක් සේ 
තුරුළු වී හිඳ ළමැදට
මල් කවුළුවෙන් නික්මයයි 
උරුම කරදී 
හිමාලය තරම් හීතල .

ඇස් වටා කළුව වැඩිවෙයි 
දින දින.

ලුණුමිදෙල්ල ප්‍රේමය!!


.
ලුණුමිදෙල්ල ගහකටත් පුළුවනි 
උරහිසේ තියං ඉන්න 
හඳ .
හුළඟත් එක්ක ඉස්සිලා 
හාදු දෙන්න 
යස.
ජිවිත කාලයක්ම 
හංග ගන්න මතක 
ළඟ .
ලුණුමිදෙල්ල ගහකටත් පුළුවනි 
උරහිසේ තියං ඉන්න 
හඳ .